නොමිලේ වීසා දෙන්න බැරි වුණ හේතුව සංචාරක නියෝජ්‍ය ඇමති කියයි 

February 14, 2026   05:39 pm

සංචාරකයන්ට නොමිලේ වීසා ලබාදීමේදී නෛතික ගැටලුවකට මුහුණ දීමට සිදු වූ බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අනුරාධපුර අද (14) පැවැති වැඩසටහනකට එක්වෙමිනි. 

"චීනය මීට මාස හතරකට කලින් රටවල් 80කට නොමිලේ වීසා ලබා දෙන්න කටයුතු කළා. මේ නිසා අපිට ඕනෑ වුණා, ඕෆ් සීසන් එකේදී වීසා නොමිලේ දෙන්න. අපි මාධ්‍යයට කියලා, විදේශ අමාත්‍යංශවලට දැනුම්දීලා මේ වැඩේ කරන්න ගියාම, තියෙන නීතිමය බාධාවක්. මේ පිළිබඳව නඩුවක් තියෙනවා. මොකද කියනවා නම් කලින් කාලයක මේ වීසා දෙන එක කලින් සමාගමකට විකුණලා ඒ අවශ්‍ය මුදල් රජයට අය වෙන්නේ නැතිව නඩුවක් තියෙනවා. මම ඒ කාරණය කිව්වේ, ඊට පස්සේ මේ නඩුව යනවා යනවා ඉවර වෙන්නෙත් නැහැ. ආයෙත් මෝසමක් දාලා මේ නඩුව ආයෙත් ගන්න හදනවා."